Wednesday, August 5, 2015

විශාධය “මනෝ විද්‍යා ලිපිය"



විශාධය මාන්සික රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා රෝගයක් ලෙස හැඳින්විය හැකි ය. මෙය අව පීඩනය ලෙස ද දැක්විය හැකි ය. අප තුළ කලාතුරකින් හෝ නිතර නිතර අතෘප්තිකර හැඟීම් ඇති වේ. එසේත් නැතහොත් කලකිරුණු ස්වභාවයක් ඇති වේ. ඒ කෙසේ වුව ද මෙකී කලකිරුණු ස්වභාවය නිතරම පවතී නම් හා ඉන් අපගේ එදිනෙදා කටයුතු සඳහා බාදා වේ නම් එය විශාධය ලෙස හැඳින් විය හැකි වේ. මෙහි දී සිදු වන්නේ බාහිර හේතුවක් හෝ නිෂ්චිතව නිශ්චය කළ නො හැකි හේතූන් මත විශාධය තත්වයට පත්වීම ය. විශාධය වැලදීම තුළින් සිදු වන අවසාන හා බරපතලම ප්‍රතිඵලය නම් විශාධය වැලදුනු රෝගියා සිය දිවි නසා ගැනීම හෝ සිය දිවි නසා ගැනීමට තැත් දැරීම ය. මෙම විශාධ රෝගී තත්වය සුළු විශාධී තත්වය හා උග්‍ර විශාධී තත්වය ලෙස වර්ග කර ඇත. මෙහි දි සුළු විශාදී තත්වයට වඩා උග්‍ර විශාධ තත්වය ප්‍රබල වේ. මෙහී අපට විශාධ රෝගීයකු තුළ පහත ලක්ෂණ හේතූන් අනුව වර්ග කොට දැක්විය හැකි වේ.
විශාධයේ  රෝග ලක්ෂණ.
 ප්‍රධාන වශයෙන් සිදු වන්නේ මනෝ භාවය අඩු වීම හා අවප්‍රමාණ චිත්ත වේග ඇති වීම ය.
බාහිර පෙනුම
විශාධ රෝගීන් බොහෝ විට කලකිරුණු ස්වභාවයෙන් සිටින බැවින් තම පෞද්ගලික සෞඛ්‍ය පිළිබඳව වුව ද අවධානයක් යොමු නොකරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපිරිසිදු ඇදුම් ඇදීම, රැවුල කොන්ඩා ආදිය නොකැපීම, දැකිය හැකි වේ. එසේම මුහුනේ දුක්බර ස්වභාවයක් පවතී. තොල් යටට නැමුණු ස්වභාවයක් හා නළලේ තිරස් අතට විහිදුණු ඉරි දක්නට ලැබේ. එසේම ඇසිපිය හෙලීම අඩු වීම හා ඉදිරියට නැමුණ උර හිස් හා හිස ද තවත් ලක්ෂන වේ. බාහිර චලනද අවම වේ. නමුත් මෙහි දී විශේෂ කරුණක් වන්නේ පුද්ගල අබ්‍යන්තරයේ කුමන ආකාරයක ගැටලුවක් පැවතිය ද පුද්ගලයා ප්‍රීතියෙන් ඉන්නා ලෙස ඇගවීම. මෙහි දී සෙසු අය නොමග යාමේ ඉඩකඩ  ද වැඩි වේ. අබ්‍යන්තරයේ කුමන ආකාරයක ශෝකයක් පැවතිය ද සිනහසී ප්‍රීතියෙන් ඉන්නා ලෙස අගවනු ඇත. මනෝ චාලක මන්දගාමී බව හා ඉතා සෙමින් ගමන් කිරීම ද අපට විශාධ රෝගීන් තුළින් දක්නට ලැබේ.
එසේම කතාබහේ ද විශාල වෙනසක් වේ. මෙහි දී සිතුවිලි ගලා ඒමේ අඩුවක් ඇති බව කතාවෙන් පසක් විය හැකි වන අතර පිළිතුරු දීමට වැඩි වේලාවක් ද ගත වනු ඇත. ඉතාම කෙටි පිළිතුරු දෙනු ඇත. එසේම කතාබහ තුළ දිඟු නිහැඬියාවන් පවතී.
මනෝ භාවයන්
දුක්බර හා කාලකන්නි ස්වභාවයක් මුහුණෙන් පිලිබිඹු වේ. ප්‍රීතිය වඩන අවස්ථාවක දී වුව ද එම තත්වය නොවෙනස් වේ. එසේම කාන්සාමය තත්වයෙන් ද පෙලෙන අතර මාන්සික ආතතියෙන් ද සිටින බව පෙනී යයි. පෙර උනන්දුවක් දැක්වූ දේ සඳහා අවධානයක් යොමු නො කරන අතර සමාජමය කටයුතුවලින් ඈත් වීමට තැත් දරයි.
අදහස් හා සිතුවිලි
වැඩි වශයෙන් මෙවන් අය අසුභවාදී සිතුවිලි දරයි. කරන කියන දෑ වරදින බව හා අන් අය ද එසේ සිතන බව විස්වාස කරයි. ඉදිරිපත් වීමේ ශක්තිය හීන වේ.
තීරණ ගැනීමේ අපහසුතා පවතී.
සුලු කටයුතු තමාට කළ නො හැකි බැරෑරුම් දේ ලෙස සිතයි.
 එසේම ආත්ම විශ්වාසයක් නැත. පෙර කළ සුලු වැරදි අතපසුවීම් ගැන වුව ද අනවශ්‍ය ලෙස සිතීම හා පසුතැවිලි වීම. තමා වරද කරුවෙකු වැඩකට නැති කෙනෙකු  ලෙස සිතීම ද දක්නට ලැබේ. තමා කරන සෑම දේම වරදින අතර තම පවුල, සෞඛ්‍ය ද පිරිහී යන බව සිතීම මෙවන් අය තුළින් දක්නට ලැබේ.
ජීව විද්‍යාත්මක ක්‍රියාවලියේ වෙනස්කම්
 මෙහි දී ප්‍රධාන වශයෙන් නින්ද නො යාම මෙන්ම නින්දේ අක්‍රමවත් බව, අළුයම් කාලයටත් පෙර අවදි වීම දැක්විය හැකි ය. එසේම  කෑම අරුචිය මළ බද්ධය, ශරීරයේ බර අඩු වීම, ලිංගික ආශාවන් අඩු වීම හා ස්ත්‍රියක් නම් ආර්තව චක්‍රෙය් වෙනස්කම් ඇති වීම. හිස සිට පාදාන්තය තෙක් ඇති වන වේදනාවන් දැක්විය හැකි වේ.
එසේම විශාධමය තත්වය බරපතල වූ විට ඉහත කී ස්වභාවයන් ද උග්‍ර වේ. ඊට අමතරව ග්‍රාන්තීන් ද නැතහොත් සිතින් මවා ගැනීම් ද ඇති වේ. විශේෂයෙන් ශ්‍රවණ ග්‍රාන්තීන් දැක්විය හැකි වේ. ්‍
උදාහරණයක් ලෙස උඹ මහ කාලකන්නියෙක්, වැඩකට නැති මිනිහෙක් ලෙස ඇසීම දැක්විය හැකි වේ.
එසේම අස්වාභාවික විස්වාසයන් ද ඇති විය හැකි වේ. මේවායේ දී බොහෝ විට තමා වැඩකට නැති අයෙකු, පවුකාරයෙකු බව හැඟෙන අතර ඒ සඳහා බලපාන්නේ රෝගී බව‍ හෝ ඉච්චාබංගත්වය, දුප්පත්කම ආදී තේමා හේතූ වේ.
නිදසුනක් ලෙස තමා කාට හෝ විරුද්ධව චෝදනාත්මකව කතා කර ඇති නම් ඒ හේතුවෙන් වැරදිකරුවෙකු ලෙස යන හැඟීම, තමා පොලිසියෙන් අල්ලාගෙන යන බව සිතීම හා එසේ වීම නිවැරදි ලෙස ද සිතනු ඇත.
එසේම විශාධ රෝගීන්ට සිය දිවි නසා ගැනීමට විටින් විට සිතීම හා ඒ සඳහා තැත් කිරීම දැක්විය හැකි වන අතර එවන් කෙනෙකු පිළිබඳව නිතර අවධානයෙන් පසුවිය යුතු වේ. තැත් දැරීම  යම් කෙනෙකු දැන ගත් විට ඔහු පිළීබදව වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.
මනෝ විද්‍යාඥයින් දක්වන ලෙස අන්තර් වර්තී පෞරශයක් ඇති පුද්ගලයන් තුළ මෙම රෝගී ස්වභාවය බහුලව දැකිය හැකි වේ. සුලු දෙයින් හෝ කම්පා වීම මෙහි දී සිදු වේ. ප්‍රධාන වශයෙන් සිදු වන්නේ සෑම දේම පිළිබඳව පමණට වඩා සිතමින් සිතින් වේදනා විදීමය. එසේම මෙවන් පුද්ගලයින් ඉතාම බොලඳ ගති පැවතුම්වලින් යුත් අය වේ. E.b බෙග් නම් මනෝ විද්‍යාඥයා විසින් රචනා කරන ලද dipretion නම් කෘතියට අනුව විශාධ රෝගින් තුළ මෙවන් ලක්ෂණ දැකිය හැකි වේ.
උදාසීන බව හා මන්දෝත්සාහී බව.
තමා තමාටම චෝදනා කර ගැනීම, අවතක්සේරුවට ලක් කර ගැනීම, තමාටම අවලාද කියා ගැනීම.
හුදකලා වීම.
නින්ද නොයාම හා කුස ගිනි නැතිකම.
ක්‍රියාකාරීත්වයේ වෙනස්කම්. අලඅලස බව හා කැලබිලි කාරී බව.
එසේම විශාධ රෝගියකු නින්දේ දී නින්ද තුළ ද බොහෝ වෙනස්කම් දැකිය හැකි වේ. ඇතැම් විට මොවුන්ට නිසි ලෙස නින්ද නො යනු ඇත. නින්ද යාම සඳහා විශාල ප්‍රයත්නයක් දැරීමට වේ. එසෙත් නැති නම් වැඩි වේලාවක් නිදා ගනු ඇත. මෙහි දී ප්‍රමාද වී නින්දට යාම හා ප්‍රමාද වී අවධි වීම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වේ. මෙහි පවතින ප්‍රදාන ගැටලුවක් වන්නේ විශාධය රෝගය තුළ සුලු මාන්සික රෝගීයකු තුළ පවතින ලක්ෂණ මෙන්ම ප්‍රධාන මාන්සික රෝගියකු තුළ පවතින ලක්ෂණ ද දැකිය හැකි වීමය. විශාධය ඇති වීම කෙරේ බලපාන හේතු කිහිපයක් ද අපට මෙසේ දැක්විය හැකි වේ.
ජීව විද්‍යාත්මක කරුණු
ප්‍රෙවේනිගත කරුනු,
මොලයේ යම් යම් ප්‍රෙදේශවල ඇති වන රසායනික වෙනස්කම්,
මොලේ හා ශරීරයේ ව්‍යාදීමය තත්වයන් ඇති වීම නිසාත
පශ්චාත් ප්‍රසව අවධියේ සිටින මවුවරුන්ට ද මෙවන් විශාදීමය තත්වයන් ඇති විය හැකි අතර ඔවුන් ලබා ගන්නා ඖශදවල අතුරු ප්‍රතිඵලයක් වශයෙනි මෙම තත්වය ඇති විය හැකි ය.
මනෝ විද්‍යාත්මක කරුණු
පෞර්ෂාභාධ
මාන්සික පීඩනය හා ඉච්චාබංගත්වයට ලක් වීම.
සමාජීය හා පාරිසරික හේතු
විබාග අපේක්ෂාවන් කඩ වීම,
ප්‍රේම සබඳතා නැවතීම,
සමාජයේ අපකීර්තියට, අපහාසයට ලක් වීම,
වස්තුව හෝ තත්වය නැති වීම.
ඉතාමත් සමීපතමයකුගේ මරණය,
ණය බදු ආදිය ගෙවා ගැනීමට නොහැකි වීම,
සුව කළ නො හැකි රෝග හෝ ශරීරයට වේදනාවක් දැනෙණ රෝගීන්ට ද විශාධය ඇති වීමේ ඉඩකඩ වැඩි ය.
විශාධ රෝගීන් තම ජීවිතය තොර කර ගැනීම සදහා යොදා ගන්නා ක්‍රම උපායන් පිළිබදව ද අවධානය යොමු කල යුතු වේ. මෙහි දී ලාංකිකයන් බොහෝ දුරට සිය දිවි නසා ගැනීම සඳහා යොදා ගන්නා ක්‍රම ලෙස (ගෙළ වැළලා ගැනීම, දියේ ගිලීම, උස් ස්ථානවලින් පැනීම, දුම්බ්‍රියට පැනීම, කෘමි නාශක පානය, වෙනත් ඖශධ ලබා ගැනීම, නියගලා අල කෑම, ගිනි තබා ගැනීම) දැක්විය හැකි වේ. එසේම විදේශ රටවල නම් වෙඩි තබා ගැනීම, නියමිත ප්‍රමාණයට වඩා එන්නත් හෝ වෙනත් ඖශධ ලබා ගැනීම, විදුලි කම්පන ලබා ගැනීම ආදිය ද දැක්විය හැකි ය.
විශාධය ප්‍රබල මාන්සික රෝගයක් වන අතර එය වැලදිය හැක්කේ කා හටද යන්න පිලිබඳව ද අවධානය යොමු කල යුතු වේ. විශේෂයෙන් කිව යුතු වන්නේ විශාධය ළමා වයසේ සිට වැඩිහිටි වයසේ සිටින ඕනෑම කෙනෙකුට වැලදිය හැකිය. ඒ අනුව යම් යම් සමාජීය පාරසරික කරුණු අනුව වෙනස් වෙමින් විශාධය සමාජයේ සිටින ඕනෑම පුද්ගලයෙකුට වැලදෙන අතර එය ස්ත්‍රී පුර්ශ කියා හෝ වෙනසක් නැත. අවුරුදු 12 ට අඩු ළමුන්ට විශාධය වැලදීමේ ප්‍රතිශතය අඩු වන අතර මෑතක දී පාසල් ළමුන් සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතය ඉහල ගොස් තිබුණි. ළමුන්ගේ විශාධයට බොහෝදුරට හේතු වී තිබුනේ
දෙමවු පියන් හෝ ගුරුවරුන් බැනවැදීම හෝ පහර දීමය.
ඉච්චා බංගත්වය හා ලජ්ජාව. යන කරුණු ය.
පාසල් ළමුන් බොහෝවිට සිය දිවි නසා ගෙන ඇත්තේ ගෙළ වැළලාගැනීමෙනි. අනවශ්‍ය ලෙස මාධ්‍ය මගින් ප්‍රචාරණය ලබා දීම මීට හේතු වී ඇති
අතර මාද්‍ය ප්‍රචාරණය තුළ දරුවන්ගේ මනසේ සිය දිවි නසා ගැනීම පිළිබඳව අබිප්‍රේරණයක් ඇති කිරීමට සමත්ව ඇත. එසේම නව යොවුන් වියේ සිටින පාසල් ළමුන් තුළ විභාග අපේක්ෂාවන් කඩ වීම හා ප්‍රේම සබඳතා නැවතීම ද හේතු වී ඇත.
තරුණ තරුණියන් තුළ විශාධය ඇති වීම සදහා ප්‍රධානම හේතුව වන්නේ ප්‍රේම සබඳතා කඩ වීම ය. සංඛ්‍යා දත්තයන්ට අනුව ස්ත්‍රීන්ට වඩා පුර්ෂයින් සිය දිවි නසා ගැනීමේ ප්‍රමාණය වැඩි වේ. ස්ත්‍රීන් දිවි නසා ගැනීමට තැත් දැරුවද දිවි තොර නො කර ගනී. නමුත් පුර්ෂයින් තම දිවි තොර කර ගැනීමට පෙලබුන හොත් එය ක්‍රියාත්මක කිරීමේ ඉඩකඩ වැඩි වේ. එසේම දිවා කලට වඩා රාත්‍රී කාලයේ සිය දිවි නසා ගැනීම ප්‍රමාණය  වර්ධනීය අගයක් පෙන්වයි. ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව සිය දිවි නසා ගැනීමේ රාජ්‍යන් අතරින් ප්‍රතම ස්ථානයට ද පැමිණ ඇත. මෙය ඉතා කේදවාචකයක් වන අතර ලාංකියන් තුළ විශාදී මාන්සික මට්ටම ද වැඩි බැවින් ඒ සඳහා පියවරක් ගත යුතුව   තිබේ.
විශාධය සදහා මනෝ ප්‍රතිකාර ද පවතී. එහි දී සුළු විශාදී තත්වයන් සදහා ඒ ඒ තත්වයන්ට අදාල හේතු සොයා මනෝ උපදේශනය ලබා දිය හැකිි වේ. එහි දී මනෝඋපදේශකයාගේ කාර්ය වන්නේ විශාදී තත්වයට හේතුව අනාවරණය කොට ගෙන ඒ සඳහා අවැසි උපදේශනය ලබා දීම වන අතර එහි දී උපදේශකවරයාට වර්ණ ප්‍රතිකාරය හා සංගීත චිකිත්සනය ද උපකාර කර ගත හැකි වේ. වර්ණ ප්‍රතිකාර යොදා ගැනීමේ දී මනෝ උපදේශනය තුළ (දම්) පැහැය යොදා ගනී.
එසේම හොඳ නින්දක් ලබා දීම ද විශාදය සඳහා ලබා දෙන එක් ප්‍රතිකාරයකි. ඇතැම් රෝගීන් සදහා මුල් කාලයේ දී ඖශධ භාවිත කිරීමට ද සිදු වේ. නමුත් එය දීර්ග කාලීනව ලබා නොදෙයි. උග්‍ර විශාදී තත්වයන්හී දී ප්‍රති විශාදී ඖශධ භාවිත කිරීමට සිදුවේ. එසේම ඇතැම් විශාදී රෝගීන් සඳහා විද්‍යුත් කම්පනය ද උපයෝගී කර ගන්නා අවස්ථා තිබේ. එවන් රෝගීන් ආහාර ද නොගෙන දිඟු කාලයක් එක් තැන්ව සිටීම ඊට හේතු වේ. එවන් තත්වයන් තුළ රෝගීයාගේ තත්වය බරපතල විය හැකි බැවින් විද්‍යුත් කම්පන ප්‍රතිකාරය සිදු කෙරේ.
මීට අමතරව සමාජ හා මනෝ ප්‍රතිකාර ද විශාධ රෝගීන්ට සිදු කිරීම වැදගත් වේ. ඔවුන් නිතර සිය දිවි නසා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වන බැවින් ඔව්න් හුදකලා නො කළ යුතු වේ. පවුලේ අය හා මිතුරු මිතුරියන් විසින් ඔව්නට ආදරය ගෞරවය කරන බව පසක් කළ යුතු වේ. තමාට තමාගේ ජීවිතේ ඇති අගය පෙන්වා දීම ද ඉතාම වැදගත් වේ. එසේම විශාධ තත්වයට බලපෑ හේතුව ජීවිතේම නො වන බව පැහැඳිලි කල දිය යුතු වේ. විශේෂයෙන් එවන් පුද්ගලයින් පිළිබදව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් වේ. (මට මැරෙන්න හිතෙනවා) නිතර කෙනෙකු කියයි නම් එය නො සලකා නො හැර ඒ පිළිබඳව ඔහු හා කතාබහ කල යුතු වේ.
නිදසුන් ලෙස වරක් මට මැරෙන්න හිතෙනවා ලෙස පොලොන්නරුව ප්‍රෙද්ශයේ පාසල් ළමයෙකු තම මිතුරාට කියා ඇත. මිතුරා(එහෙනම් මැරියන්.) කියා ඇත. විනාඩි ගනණකින් එම පාසල් ශිෂ්‍යා ඛ්ලාන්තය වී වැටී තිබේ. සොයා බලන විට ශිෂ්‍යා නියගලා අල කා තිබේ. ඔහු නිතර එසේ කියන බවත්, එබැවින් තමා ඒ පිළිබදව එතරම් සැලකිලිමත් නො වූ බවත්, මිතුරා කියා තිබේ.
මේ අනුව විශාධ රෝගීන්ගේ ජීවිතය සැම විටම අවධානම් තත්වයක පවතින බැවින් සමාජයේ සෙසු පුද්ගලයන් ද එවන් අය පිළිබදව අවධානයෙන් සිටිම වැදගත් වේ.
එසේම රෝගය සුව වුව ද එවන් පුද්ගලයන් පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වන අතර රෝගය ගැන හා ඉන් වන හානිය පිළි්‍බදව රෝගියාට ද අවබෝධයක් ලබා දීම වැදගත් වේ. එසේම රෝගය සුව වූ පසු අනාගත ඉලක්ක ඔහු තුළ ඇති කළ යුතු වේ. ජීවිතේ අගය, වටිනාකම පෙන්වා දිය යුතු වේ. රෝග කාරක වන හේතු පිළිබඳව යථාර්තවත් අවබෝධයක් ද සැපයිය යුතු වේ. මෙවන් තත්වයන් තුළ විශාධ රෝගීන්ගේ ජීවිතය සුරක්ශිත කර ගත හැකි වන අතර පසු කාලීනව යලිත් විශාධය වැලදීමෙන් ද මුදා ගත හැකි වේ.

සත්‍යා නිර්මානි

No comments:

Post a Comment

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.