Sunday, July 23, 2017

අඳුර


 අහසට පිඹිනා, එරන් කලේයා,
පොලොවට පිඹිනා, බූමි කලේයා.
තාලයට කියමින් කට කැඩුනු මැටි මුට්ටියක් අතින් ගත් නංගී මිදුලේ කොනක හිඳින්නේ වරින් වර නර්තනයේ ද යෙදෙමින්ම ය. මල් පිපුණු හෙන්දිරික්කා වැටට එහායින් ඇති වෙල් යාය මඳ අඳුරේ දිස් වන්නේ යාන්තමිනි. ඈතින් පේන වෙල් යායත්, කඳු පෙළත් දෙස හැම හැන්දෑවකම බලා හිඳීම මා සිත ප්‍රිය කරන දේකි. ඇසට හසුවන මේ පෙදෙස මට වඩා සුන්දර ලෙසින් දිස්වන්නේ ඉර කඳු මුදුනට ආ විට ය. එවිට ආකාසේ පලින් පල අමුතු රත් පැහැයකින් රටා අඳින්නේ වෙනස්ම වූ හැඩතල මතු කරමින්ම ය. වෙල් යායට උඩින් ඉගිලෙන කොක් රංචු හා කුරුලු රංචු බොහෝමයක් නතර වන්නේ වෙල් යායේ මැදකට වන්නට ඇති කපුටු බෝ ගසේ ය.
නමුත් ඒ සුන්දරත්වය දෙස මා බලා උන්නේ මීට පෙර ය. මා දැන් ඒ වෙල් යාය දෙස බලන්නේ මාගෙන් යමක් උදුරා ගත් අයෙකු දෙස බලන අයුරෙනි. නැත. වෙල් යාය, මහ නියර මගෙන් උදුරා ගත් දෙයක් නැත. ඒ ේ දයිවය ේ ද? ගලා එන මඳ අඳුර අතරින් මට පෙනෙන්නේ ඔහුගේ රුව ය. ගීයක් ගයමින් එන ඔහුගේ රුව ය. මහ නියරේ මැදට අවුත් මටත්, නංගීටත් කතා කරන ඔහුගේ රුව ය. බලාහිදිනු විනා යලි ඔහු එන්නේ ද නැත.
“ලොකූ, අද මල් පූජ කරන්නෙ නැද්ද.
මල් වට්ටිය අතේ තිබුනත් එදින හවස මම මල් කැඩුවේ නැති බව සිහිවූයේ අම්මා එසේ ඇසූවිට ය. පිල්කඩින් නැගිට ගත් මා පිච්ච වැල ආසන්නයට ආවේ මල් පිපී ඇද්දැයි යන සැකයෙන් ය. එහි තිබුනේ බාගෙට පිපුණු මල් ය. පෙති කැඩුනු මල් හා බාගෙට පිපුණු මල් බුදුන්ට පූජා කරන්න හොඳ නැති බව අම්මාත්, අත්තම්මාත් නිතර කියන්නකි. දහස්පෙතියා හා ගැටපිච්ච මල්වලින් වට්ටිය පුරවා ගත් මා පැන් දොවා බුදු පිළිමය ඉදිරියෙන් වට්ටිය තැබීය.  අදවත් තාත්තා බොන්න එපා යැයි එදා මා ප්‍රාර්ථනා කල අයුරු මට තාමත් සිහි වේ.
වෙනදානම් අඳුර පැතිරෙන තෙක් පොතක්, පත්තර පිටුවක් කියවීම මාගේ කාර්යයි. එහෙත් එදින මට ඒ කිසිවක් කරන්නට සිතුනේ නැත. කුමාරි නැංදාගේත්, අම්මාගේත් කතාව කන වැකුනු මොහොතේ සිට මගේ ශරීරේ කොහේ හෝ තැනක යමක් හිර වී ඇති සේ හැඟේ. කොහේ හෝ තැනක දරුණු වේදනාවක් දැනෙන්නට විය. අම්මාගෙන් ඇසීමට ඇති දේ බොහෝමය. ඒත් ඒවා අසන්නේ කෙසේද. කියන්නේ මොනවද. මට සිතා ගත නොහැකි ය. මම එදින හවස එවන් චිත්ත පීඩාවකින් පසුවුනෙමි.
“ලොකු පුතේ, දැන් කරුවල වැටිල තියෙන්නෙ. නංගිත් එක්කන් ගෙට වරෙන්.
වෙනදානම් අම්මාට මේ වදන් පේලිය හත් අට පාරක්වත් කියන්නට වේ. නමුත් එදා නංගීගේ අතින් ඇද ගත් මා ඇයව ගෙතුළට කැදවාගෙන ආවේ බලහත්කාරයෙන් මෙනි. සුදු පූසී ද අපිත් සමගම ගෙතුළට ආවේ නිදිකිරා වැටෙමින්ම ය. කුස්සිය දෙසට යාමට සිතුනේ කුසගින්නක් දැනුණු නිසාම නොව. අම්මා සහ කුමාරි නැංදාගේ කතාව සිහි වීම නිසා ය.
“මොනවද අම්මේ අද කන්න තියෙන්නේ.”
“කොස් තම්බලා ලුණු මිරිස්
“අදත් කොස්ද.”
කියමින් නංගි නහයෙන් අඬමින් අම්මාගේ චීත්තේ පැටලෙන්නට විය.
“හරි හරි තව ටික දවසනේ.
“ඇයි අම්මේ එහෙම කියුවෙ.
සුසුමක් හෙලූ අම්මා ළිප ළඟ වූ බංකු කොටේ වාඩි වෙමින් ගිනි දලු දෙස බලා ගෙන කතා කරන්නට විය.
“හැමදාමත් මේ දුඛ විදින්න බෑ බං. උඹලෑ තාත්තා හම්බ කළාට ඒක ඉවරයි බීමට. උඹල දෙන්නයි මායි මෙතන වේලක් ඇර වේලක් කකා දුක් විඳිනවා. කුමාරි නැංදා ලබන සතියේ රට යනවා. එයා ගිහින් මාවත් එහෙට ගන්න බලනවා කියුව. එයත් ගෙන්න ගන්නේ එයාගෙ අක්කනේ.
“එතකොට අම්මෙ අපි.
“මම ඇහුවා නොව. ඒ වදන් කටින් පිටවූවා වැනිය.
මට අවශ්‍ය කතාව ආරම්භ වී ඇත. එහෙත් මා තව දුරටත් ඇසිය යුත්තේ මොනවාද. කිව යුත්තේ මොනවාද. මට සිතා ගත නොහැකි වීය.
“ආත්තම්මත් ඉන්නවානෙ. උඹත් දැන් පොඩි ළමයෙක් නෙවෙයිනේ.. නංගි බලා ගන්නඋඹටත් පුලුවනි.
“අනේ අම්මෙ යන්න එපා අම්මෙ.
මට කිව හැකිවූයේ එපමණකි. මගේ දෑසින්  කඳුලු ගලා එන්නට විය. අඳුරේ මුහුණ සගවා ගත් මා දුටුවේ අම්මා ද චීත්ත කොනෙන් දෑස් පිහන අයුරු ය.
“උඹල දෙන්න වෙනුවෙන් තව කොච්චර දේවල් කරන්න තියනව ද පුතේ. තාත්තා මේ දේවල් ගැන හිතනව නම් මට යන්න වෙන්නෑ පුතේ.
අම්මාගේ හඬ හැඬුම්බර විය. මට එය දරා ගත නො හැකි විය. සත්තකින්ම තාත්තා  බීමත් බවින් මිදෙනවා නම්, මීට වඩා අපේ ජීවිත වෙනස් වනු ඇත. ඔහුට කුලී වැඩකින් ලැබෙන මුදල ද එවිට අම්මා අරපරිස්සමින් පාවිච්චි කරනු ඇත. මට එදා තාත්තා ගැන ඇතිවූයේ කේන්තියකි. අම්මාට රට යාමට සිදුව ඇත්තේ ඔහු නිසා ය. රට ගිය පසු බොහෝ දුක් විඳින්නට වන බව මා අසා ඇත. අම්මාට දුක් විඳින්නට වන්නේත්, නංගීටත් මටත් අම්මා අහිමි වන්නේත් තාත්තා නිසා නේදැයි මට එදා සිතුණි. ඒ මොහොතේ තාත්තා පිළිබඳව මාගේ සිතේ ඇතිවුනු හැඟීම පිළිබඳව මා පසුව දුක් උනෙමි.
“අඩු කුලේ කියාලා අසරණයා,
මැඩලන්නෙ මෙ ලෝකේ වසලයා....
සුපුරුදු ගීතය ගායනා කරමින් වස්තු මාමා මහ නියර දිගේ නිවස බලා යනු මට ඇසුණි. ඔය පසුපසින්ම තාත්තා ද එනු ඇත. හැමදාමත් වගේ මා හට එදිනත් සිතුණි. අදටත් වස්තු මාමා නියර දිගේ  යනවිට තාත්තා ඒ පසුපස එයි දැයි මාගේ සිත විපරම් කරයි. තාත්තාගේ ගීතය ද මහ නියරේ මැදකට එන විට අපට ඇසිය හැකි ය. ඔහුගේ ගීත ද බොහෝ දුරට වෙනස් වන්නේ නැති තරම් ය. තාත්තා හොඳ සිහියෙන් ඉන්නා විට නිශ්ෂබ්ධය. එහෙත් බීවට පසු කතාවේ කෙලවරක් නැත. කා සමග වුවත් එය අවසන් වන්නේ දබරයකිනි. තාත්තා හොඳ සිහියෙන් ඉන්නා විට ගෙදර පැමිනෙන්නේ මහ නියරේ මැද සිට අපට ද කතා කරමින්ම ය. එදිනට කඩල ගොට්ටක්, කජු මුලක් වරදින්නේ නැත. එහෙත් එවන් දින උදා වන්නේ බොහෝ කලාතුරකින් ය. ඒ කලාතුරකින් උදා වූ දිනවල අපි තාත්තා සමග කොයිතරම් නම් සතුටුවූවාද. අහම්බෙන් පැමිණි ඒ දින ආයේ කිසි දිනකත් නොයෙනු ඇත.
 බීමතින් පැමිනෙන විට නංගී හෝ මා තාත්තාට ඇස ගැටෙන්නට ඉන්නේ නැත. අපි ඒ තරමට තාත්තාට බිය වීමු.
අදත් බොහෝ දුරට තාත්තා අම්මා සමග රංඩු වනු ඇතැයි මම එදා සිතුවෙමි. නිවසට එන තාත්තා අම්මාගෙන් පළමුව අසන්නෙ එකම පැණයකි.
“අද මොනවද කන්න තියෙන්නේ.
එවිට අම්මා පිළිතුරු දෙනු ඇත. එසේත් නැති නම් කෑමට ඇති දේ බෙදාගෙන එයි. අම්මා මොනවා ඉයුවත් තාත්තාගේ ඊළඟ වදන් පෙළ වන්නේ,
“මොනවද මේ. මං කොහොමද බං මේව කන්නේ.
 “තියන දේවල් තමයි උයල තියෙන්නේ. ගෙනත් දෙනවනෙ හරියට උයන්න. ගේනවා නම් කමක් නෑ.
ොකක්ද ොල තෝ කිව්වෙ?.
කියමින් පිගාන පොලවේ ගහන තාත්තා අම්මාට ගුටිබැට දීමට පටන්ගනී. සමහරක් දිනවලට අම්මා බේරා ගැනීමට යන මට ද ගුටි වරදින්නේ නැත.
“ලොකූ
 ඒ මොහොතේ මාගේ කල්පනා දැහැන බිඳුනේ අම්මාගේ කටහඩින් ය.
“තාත්ත තාම නෑනෙ ලොකු. වෙනද මේ වෙලාවට ඇවිත්.
අම්මා නිවැරදි ය. වස්තු මාමාත් තාත්තාත් නිවසට එන්නේ එකටම වගේ ය. මා ඒ අතරේ සිතුවේ මීට ටික මොහොතකට කලින් තාත්තාට දොස් නගමින් උන් අම්මා දැන් තාත්තා පිළිබඳව ලත වන්නේ ඇයි කියා ය.
“කඩේ ළඟ නැවතුනාද දන්නෑ අම්මෙ.
“මේ වෙනකොට කඩේ වහනවානෙ බං. මොකද දන්නෑ.
කියමින් උලුවස්සට හේත්තු වූ අම්මා අඳුර දෙස බලා හිදින්නට විය. කොයි තරම් ගුටිබැට දුන්නත් අම්මා තාත්තා කෙරේ වූ ලෙංගතුකම පිළිබඳව මට ඒ මොහොතේ පුදුම සිතුනි. මීට සුලු මොහොතකට පෙර තම ජීවිතය ගැන කම්පා වී තාත්තාට දොස් කියූ අම්මා ගැන  ද මට තරහක් හිතුනි.
“පුතේ පංදමක් ඇරන් ටිකක් පාරට ගිහින් බලමුද. බීල වැඩි වෙලා වෙලේ වැටිලවද්ද දන්නෑනේ.
මීට පෙර ද දෙතුන් වතාවක් තාත්තා බිමතින් අවුත් මහ නියරෙන් ඇද වැටී ඇත. හිස වනා අනුමැතිය දුන් මාද මිදුලට බැස්සේ අඳුර අතරින් වෙල් යාය දෙස බලාගෙන ය. මොනව කියුවත්, කළත් ඒ අම්මාගේ ස්වාමියා ය. නංගීගේත් මාගේත් පියා ය. සිතමින් මා වෙල් යාය දෙස එදින බලා සිටි අයුරු මට සිහිපත් වේ.
පංදමක් අතින් ගත් අම්මා ඉස්සර විය. අඳුරට බියක් දක්වන නංගීත්, මමත් අම්මා ළඟින්ම ගමන් කරන්නට විය. අපි මහ නියර දිගේ එක පෙළට ගුරු පාර ආසන්නයට ම ගමන් කිරීමු. ගුරු පාර ආසන්න වන විට නියර මැඳ අම්මා නතර විය.
“ඇයි අම්මේ.
පිටුපසින් ආ මට   එකවර කිසිත් සිතා ගත නොහැකි විය.
“පුතේ තාත්තා.
අම්මාගේ මුවින් පිටවූයේ එපමණකි. පංදම් එලිය අතරින් මම ඉදිරිය හොඳින් නිරීක්ෂනය කරන්නට විය. තාත්තා නියර උඩ වැටී සිටිණු මා දුටුවේ එවිට ය. තාත්තා වැටිලා ද, එහෙමත් නැති නම් නියර උඩ වාඩි වීමට ගොස් පෙරලුනා දැයි ඔහු දකිත්ම මට සිතා ගත නොහැකි විය. තාත්තා දෑතින් පපුව අල්ලාගෙන සිටි අයුරු මට තාමත් මැවී පෙනේ.
“ඒයි. ඒයි. නැගිටිනවකෝ ඕයි.
තාත්තා සොලවමින් අම්මා කතා කරන්නට විය. තාත්තා කතා කරන්නේ නැත. මට මහා බියක් දැනෙන්නට විය. තාත්තාගේ සිරුර පරීක්ෂා කල අම්මා තව තවත් හයියෙන් තාත්තාට කතා කරන්නට විය. අම්මා සමග මමත්, නංගීත් තාත්තාට කතා කරන්නට විය. එහෙත් අපි කතා කරනු තාත්තාට ඇසුනේ නැත. අවසානයේ අම්මාගේ විලාපය මුල් වෙල් යාය හරහා දෝංකාර දෙන්නට විය.

“අනේ පුතේ උඹලගෙ තාත්ත අපිව දාල ගිහින්.